Wednesday, July 24, 2024
Local Newsසමාජ-ආර්ථික

අත්තනගල්ලට ආර්ථික-කර්මාන්තපුරයක් පිහිටුවීමේ යෝජනාවට මූලික එකඟතාවය

2

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත පුර 32ක් මේ වන විට රට පුරා පවත්වාගෙන යන අතර පෞද්ගලික ආයෝජකයන් විසින් රුපියල් මිලියන 36,500ට අධික මුදලක් එම කර්මාන්තපුර වල ආයෝජනය කර ඇති බව අනාවරණය වේ. මෙම කර්මාන්තපුරවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන හාරදාහට අධික මුදලක් වැය කර ඇති අතර එම කර්මාන්තපුර ආශ්‍රිතව ජනනය වී ඇති රැකියා අවස්ථා ගණන දාසය දාහසකට අධික බව 2020 සැප්තැම්බර් මස 17දින “අත්තනගල්ල කර්මාන්තපුරය පිහිටුවීම ” සම්බන්ධව කර්මාන්ත අමාත්‍ය සහ ඉඩම් අමාත්‍ය අමාත්‍ය විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් පෙන්වා දී ඇත.

බස්නාහිර පළාත තුළ කර්මාන්ත ඇරැඹීමට උනන්දුවක් දක්වන 150ක් පමණ ආයෝජකයන් සිය අයදුම්පත් ඉදිරිපත් කර ඇති නමුත් එම පළාත තුල පිහිටා ඇති කර්මාන්තපුර 08 තුළ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දිය නොහැකි බව රජය හඳුනාගෙන ඇති බැවින් කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකටම අයත් වන පරිදි නව කර්මාන්ත පුරයක් ස්ථාපනය කිරීමටත් එකී කර්මාන්තපුරය තුළ විදුලිය හා ඉලෙක්ට්‍රොනික උපාංග, අගය එකතු කළ කෘෂි නිෂ්පාදන, රබර්-ප්ලාස්ටික් ආශ්‍රිත නිර්මාණ, ඇඟලුම් සහ ඖෂධ සඳහා ප්‍රමුඛතාවය ලබා දීමටත් ප්‍රතිචක්‍රීකරණය සහ පර්යේෂණ සම්බන්ධ කටයුතු සඳහා යෝජිත කර්මාන්ත පුරයෙන් ඉඩකඩ වෙන් කර දීමටත් යෝජනා කර ඇත.

ඒ අනුව, අත්තනගල්ල හා වරකපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ දෙකටම අයත්ව පිහිටා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් “පෙතියකන්ද වත්ත” නැමැති ඉඩමේ අක්කර 194ක භූමී භාගයක් නවීන කර්මාන්ත පුරයක් වශයෙන් ස්ථාපිත කිරීම සඳහා කර්මාන්ත අමාත්‍ය සහ ඉඩම් අමාත්‍ය අමාත්‍ය විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද යෝජනාව ප්‍රතිපත්තියක් වශයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ඇගයීමක් සිදු කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත පැවරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් මෙදින තීරණය කරන ලදී.

ග්‍රාමීය ප්‍රදේශවල කර්මාන්ත ස්ථාපිත කිරීමේදී ඇති එක් ප්‍රධාන බාධකයක් වනුයේ කර්මාන්ත පිහිටුවීම සදහා යෝග්‍ය ස්ථාන සොයා ගැනීමේ අපහසුතාවයයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයන්ට පහසුකම් සැපයීම සඳහා රට පුරා කාර්මික ජනපද ස්ථාපිත කර තිබේ. ශ්‍රී ලංකාවේ කාර්මික ජනපද ස්ථාපිත කිරීමට හා පවත්වාගෙන යාමට කාර්මික සංවර්ධන මණ්ඩල පනතේ 33 (2) වගන්තිය යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලයට බලය පවරා තිබේ.

 

Share this :