Wednesday, July 24, 2024
Local Newsසමාජ-ආර්ථික

කැලණි ගඟ ආශ්‍රිතව සිදුවන නාගරිකරණය හා කර්මාන්තකරණය හේතුවෙන් ගඟේ ජලය සීඝ්‍ර ලෙස අපවිත්‍ර වීමේ තත්ත්වයක්

3

කැලණි ගඟ ආශ්‍රිතව විශාල වශයෙන් සිදුවන නාගරිකරණය හා කර්මාන්තකරණය හේතුවෙන් ගඟේ ජලය සීඝ්‍ර ලෙස අපවිත්‍ර වීමේ තත්ත්වයක් නිරීක්ෂණය වන අතර ඒ පිළිබඳ වගකිව යුතු ආයතන විසින් පවතින නීති රීති හා රෙගුලාසි ප්‍රමාණවත් පරිදි ක්‍රියාත්මක නොකරන බව විගණකාධිපති විසින් නිකුත්කරන ලද වාර්තාවකින් හෙළි වී ඇත. එසේම, කැලණි ගඟ ආශ්‍රිතව සිදුවන අහිතකර පාරිසරික කටයුතු පාලනය කිරීම සඳහා එම ආයතන වල සිදුවිය යුතු මැදිහත්වීම හා නියාමනය ප්‍රමාණවත් නොවන බව ද එම වාර්තාවෙන් හෙළි වී ඇත.

බස්නාහිර පළාතේ ජනගහනයෙන් සියයට 80 කට ආසන්න ප්‍රමාණයකට පානීය ජලය සපයන්නා වූ ප්‍රධානතම ජල මූලාශ්‍රය වන්නේ කැලණි ගඟයි. මෙම ගංඟා ද්‍රෝණිය ආශ්‍රිතව කර්මාන්තශාලා 10,511කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා තිබෙන අතර මෙම කර්මාන්තශාලා හා ගෘහාශ්‍රිත ක්‍රියාකාරකම් නිසා ගංඟා ජලය දූෂණය වීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කර ඇත. එසේම, කැලණි ගඟ ආශ්‍රිතව පිහිටි ප්‍රධාන අපනයන සැකසුම් කලාප වල කටයුතු පරීක්ෂාවේදී එම කලාපවල ඇතැම් කර්මාන්ත ශාලා වලින් බැහැර කරන අප-ජලය සම්මත පරාමිතීන් වලට අනුකූල නොවන ආකාරයට අභ්‍යන්තර ජල මූලාශ්‍ර වලට හා පරිසරයට බැහැර කරන බව නිරීක්ෂණය කර ඇත. උපද්‍රවකාරී හා උපද්‍රවකාරී නොවන අපද්‍රවය බැහැර කිරීමේ ක්‍රමවේදය නිසි පරිදි කලමනාකරණය නොවීම සහ අපජලය පිරිපහදුවෙන් පසු ඉතිරිවන මඩිති (sludge)බැහැර කිරීම පරිසර හිතකාමී අන්දමින් සිදු නොවීම නිසා එහි බලපෑම අවසන් වශයෙන් ජල මූලාශ්‍ර වලට එල්ල වී ඇත.

එසේම, අභ්‍යන්තර ජල මූලාශ්‍ර වලට අපජලය බැහැර කිරීමේදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් නියම කරන ලද ක්‍රමවේදය අනුගමනය නොකරන පාර්ශවයන් සඳහා ලබා දෙනු ලබන දණ්ඩනයන් සඳහා ජාතික පාරිසරික පනතේ දක්වා තිබූ ප්‍රතිපාදන ද ප්‍රමාණවත් නොවී ඇත.

ගඟේ ජල දූෂණයට අදාළව වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ කර්මාන්ත ශාලා වලින් වන අතර කැලණි මිටියාවතෙහි පිහිටි ප්‍රධාන කර්මාන්ත පුරයක් වන සීතාවක අපනයන සැකසුම් කලාපය ලබා තිබූ පරිසර ආරක්ෂණ බලපත්‍රය වසර 8ක සිට අලුත් කර ගෙන නොතිබූ අතර, මෙම කලාපයේ කර්මාන්ත 37ක අපජල පිරිපහදුව සඳහා පවතින අපජල පිරිපහදු මධ්‍යස්ථාන ධාරිතාවයේ ප්‍රමාණවත් නොවේ. අපජල පිරිපහදු මධ්‍යස්ථානයේ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ යන්ත්‍රය අක්‍රීය වී තිබීම පාරිසරික වශයෙන් බලපෑමක් ඇති කර ඇත. තවද, සීතාවක සහ බියගම අපනයන සැකසුම් කලාපවල කර්මාන්තශාලා වලින් ජනිත වන මඩිති ඉවත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති බැවින් මෙම මඩිති වැසි ජලය සමඟ මිශ්‍රවී ජල මුලාශ්‍ර දුෂණය වීමේ අවධානමක් පවතින බවද නිරීක්‍ෂණය වී ඇත.

ගඟ දෙපස අනවසර ඉදිකිරීම් හේතුවෙන් ගං ඉවුරු ඛාදනය වීම, ගඟට මායිම්ව ඉදිකළ හෝටෙල් සහ අනවසර ලෙස ඉදිකර තිබූ නිවාස වලින් බැහැර කරන ඝන අපද්‍රව්‍ය , මළ අපද්‍රව්‍ය සහ අපජලය ගඟේ ජලයට එකතු වීම, වාහනසේවා කිරීමේ මධ්‍යස්ථාන සහ කර්මාන්තශාලා වලින් බැහැර කරන අපජලය පිරිපහදු කිරීමකින් තොරව බැහැර කිරීම ගංඟා ජලය දුෂණය වීමේ ප්‍රධාන හේතු කාරකයන් වන බව හෙළි වී ඇත. ජල දූෂණය හඳුනා ගැනීමේ නිර්ණායක පරීක්ෂාවේදී ප්‍රධාන පාලම් සහිත ස්ථාන බොහොමයක ජලයේ ගුණාත්මකභාවය මධ්‍යම පරිසර අධිකාරියේ සම්මත පරාමිතීන් ඉක්මවා ඇති බව නිරීක්ෂණය වී ඇත. මෙ නිසා පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම සඳහා ජල පවිත්‍රාගාර වලට දැරීමට සිදුවන පිරිවැය ඉහල ගොස් ඇත.

කැළණි ගඟ ආශ්‍රයෙන් ලබා ගන්නා ආර්ථික වාසි වල වර්ධනයක් සිදුවී තිබුණද ගඟේ පාරිසරික අසිරිය හා වටිනාකම ආරක්ෂා කිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ දායකත්වය අවම බව නිරීක්ෂණය වී ඇත.මිනිසාගේ අදුරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් දිනෙන් දින දුෂණය වන කැලණි ගංඟාවෙන් අප ලබාගන්නා ආර්ථික, සාමාජීය හා සෞන්දර්යාත්මක ප්‍රයෝජන සැලකිල්ලට ගෙන, කැලණි ගංඟාවේ වටිනාකම් ආරක්‍ෂා කිරීමේ ප්‍රධාන වගකීම් උසුලන මධ්‍යම පරිසර අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන, නාගරික සංවර්ධන අධිකාරිය සහ ජලසම්පාන හා ජලාපවාහන මණ්ඩලය යන රාජ්‍ය ආයතනවල දායකත්වය වඩා සක්‍රීය වීම ඉතා වැදගත් බව එම වාර්තාව අවධාරණය කරයි. එසේම, පාරිසරික තුලනාත්මක බව රැක ගැනීම සම්බන්ධවයන් සියළු පාර්ශව විසින් කටයුතු සිදු කල යුතු ආකාරය තහවුරු කෙරෙන පරිදි සියළු නීති රීති අණ පනත් වල සංශෝධන වියයුතු කොටස් සංශෝධනයට ලක් කිරීම හා ඒවායේ ඇති අක්‍රිය අනෙකුත් පටිපාටීන් නිසි ක්‍රියාකාරී තත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය ද එම වාර්තාව විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

වැඩිදුර කියවන්න: විගණන වාර්තා අංකය: PER/B/ENV/2018/01

Share this :