Tuesday, July 23, 2024
Local Newsසමාජ-ආර්ථික

කොරෝනා ඇතත් නැතත් (2017 වසරේ 4.1% වූ) 5.7% දක්වා විරැකියාවේ ඉහළ යෑමක්

11

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලද 2020 පළමු කාර්තුව සඳහා වන “ශ්‍රී ලංකා ශ්‍රම බලකා සමීක්ෂණය” අනුව ලංකාවේ රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 483,172 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2020 පළමු කාර්තුව සඳහා විරැකියා අනුපාතය 5.7% කි. සමකාලීනව, ලංකාවේ සාමාන්‍ය විරැකියා අනුපාතය 5% කට අඩු තත්වයක පවතීන අතර 5.7% යනු තරමක් ඉහල හා අසාමාන්‍ය අගයකි. මෙය ක්ෂණිකව සිදු වුවක් නොව ක්‍රමානුකුලව 2017 වර්ෂයේ සිට පැවතුණ බව පෙනී යයි. 2017 වසරේදී විරැකියා අනුපාතය වූයේ 4.1%කි (පහත රූපය බලන්න).

“ශ්‍රී ලංකා ශ්‍රම බලකා සමීක්ෂණය ” 1990 වර්ෂයේ සිට අඛණ්ඩව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලබයි. එමගින් සේවා නියුක්තිය, විරැකියාව හා ශ්‍රම බලකාය පිළිබඳ වැදගත් සංඛ්‍යා ලේඛන හා ප්‍රවණතා පෙන්වා දෙයි.

ලංකාවේ ශ්‍රම බලකාය ලෙස සලකනු ලබන්නේ වයස අවුරුදු 15 ට වැඩි සහ ආර්ථිකමය වශයෙන් සක්‍රියව දායක විය හැකි රැකියාවේ නියුතු හෝ නිරත නොවන සමස්ත ජනගහනයයි. මෙය සංඛ්‍යාත්මකව මිලියන 8.5 කි. මෙයින් 65.7 ක් පිරිමි ජනගහනය වන අතර 34.3ක් කාන්තා ජනගහනය වේ ආර්ථිකමය වශයෙන් සක්‍රියව දායක විය නොහැකි සමස්ත ජනගහනය මිලියන 8.2කි. වැදගත් නිරීක්ෂණය වන්නේ ශ්‍රම බලකායේ පිරිමි නියෝජනය කාන්තා නියෝජනයට වඩා සැම විටම වැඩි වීමයි.

විරැකියාවෙන් පෙලෙන අයෙකු ලෙස සලකන්නේ “රැකියාවක් ලබා ගත හැකි එහෙත් පසුගිය සති හතර තුල රැකියාවක් නොකළ මුත් එම කාලය තුල රැකියාවක් සොයා ගැනීමට පියවර ගත් සහ ඊළඟ සති දෙක තුල රැකියාවක් භාර ගැනීමට සූදානම්” අයෙකි.

රජය විසින් 2019 වර්ෂයේ අවසාන කාර්තුවේදී ආර්ථිකය පන ගැන්වීම සදහා ආර්ථික සහන පැකේජයක් (Economic stimulus package) නිකුත් කලද ඉන් අපේක්ෂිත බලපෑමක් සිදුවී නොමැති බව පෙනී යයි. විරැකියාවේ මෙම ඉහල යාමට හේතුව, කාලාන්තරයක් තිස්සේ පැවතුනු ආර්ථිකයේ ඉතා පසුගාමී සහ එක තැන පල්වන ස්වභාවය බව ආර්ථික විද්‍යාඥයින්ගේ මතයයි. මෙම තත්වය රජය විසින් ඉදිරියේදී ලබා දීමට නියමිත රැකියා 150,000ත් සමග අඩු විය හැක. එහෙත් ඉන් ආර්ථිකයේ පිබිදීමක් අපේක්ෂා කළ නොහැක, මන්දයත් එම රැකියා බිහි වන්නේ ආර්ථිකයේ සිදු වූ පලදායීතාවයේ වැඩි වීමක් මත නොවන නිසාය.

Share this :