Thursday, July 25, 2024
Local Newsරාජ්‍ය විචාරය

රාජ්‍ය නිලධාරී වෙනුවෙන් ගොඩනැගුණු නිල පියස ගම්පහ දිස්ත්‍රික් නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පැවරේ…..

0

මිලියන 509 ක වියදමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් කඩවත, මහර ප්‍රදේශයේ ඉදිකරණ ලද නිල පියස නිවාස යෝජනා ක්‍රමය ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් පසු ගිය මැයි  14දා පෙරවරුවේ ජනතා අයිතියට පත්විය.

නිවාස ඒකක 32 න් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණය දීප ව්‍යාප්ත සේවාවේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් උදෙසා වසර 5 ක කාලයක් සඳහා ලබා දීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා “රාජ්‍යයක නිසි පැවැත්ම සඳහා කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවාවක් තහවුරු කළ යුතුයි. රාජ්‍ය සේවාවට සුදුසුකම් වලින් පරිපූර්ණ නිලධාරීන් බඳවා ගැනීම මෙන්ම ඔවුන්ව නිසි ලෙස පුහුණු කර ආයතන ගත කිරීම වගේම දිගින් දිගටම අභිප්‍රේරණය වූ සේවාවක් ලබා ගැනීමට ඔවුන්ගේ වැටුප් හා දීමනා පමණක් නොව පහසුකම් ලබාදීම ද ඉතාම වැදගත්.

රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් ලබා දීමේ මෙම වැඩසටහන මුල් කාලයේ ඈත පළාත්වලයි ක්‍රියාත්මක වුණේ. සීමා සහිත නාගරික ප්‍රදේශවල පුද්ගලික දේපළ ඉඩම් පවරාගෙන නිල නිවාස සංකීර්ණ ඉදිකිරීමේදී විශාල මුදලක් වැය වෙනවා. ඒ නිසා පුළුවන් තරම් රාජ්‍ය ඉඩම් ප්‍රයෝජනයට ගැනීමයි අපේ අදහස. අපි වෙනදට වඩා වැඩි සේවාවක් ජනතාවට සැලසිය යුතුයි.

විවිධ දිස්ත්‍රික්කවල මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම මගින් රාජ්‍ය සේවයේ අවශ්‍ය වන නේවාසික පහසුකම් හැකි තරම් දුරට සපයා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා, ඒ වගේම ඒ අයගේ සේවාය වඩාත් පහසුවෙන් කරගෙන යාමට, නිවාස තිස් දෙකක් මෙලෙස අද ඔබ අයිතියට පත්වෙනවා.

රාජ්‍ය පරිපාලනයේ විධායක නිලධාරීන් හා නියෝජිතයින් සමඟ මෑත කාලීනව සිදුකළ සාකච්ඡාවලදී එම නිලධාරින් ඉදිරිපත් කරන ලද ප්‍රායෝගික විවිධ ඉල්ලීම් අපි සැලකිල්ලට ගනිමින් එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. විධායක නිලධාරීන් සහ පාලන තන්ත්‍රය අන්න්‍යෝන්‍ය අවබෝධකින් හා වගකීමකින් පසුගිය කාල පරිච්ඡේදයේ ආර්ථික අපහසුතා වලට මුහුණ දුන්නා. ජනතාවගේ සෞඛ්‍යය,හා නිරෝගී භාවය රැකගන්න පුළුවන් වුනේ ඒ හරහායි. එවැනි හදිසි අවස්ථාවන් හරහා ඇති වූ ආර්ථික කඩාවැටීම් තුළින් යළිත් හිස ඔසවන මේ අවස්ථාවේ අපි ආර්ථික ප්‍රගතියකට පැමිණ තිබෙනවා. ඒ විශ්වාසය ඇති වුනේ රාජ්‍ය සේවයේ සියලු දෙනාගේ සහයෝගය තුළින්.

මෙම අවස්තාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, සිසිර ජයකොඩ්, ප්‍රශන්න රණවීර යන මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප් විතාන, යදාමිණි ගුණවර්ධන යන මහත්වරුන් , අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Share this :