Tuesday, July 23, 2024
Local Newsසමාජ-ආර්ථික

වත්මන් ඉංජිනේරු බුද්ධිය පවා පරදවන වසර 1500ක් අඛණ්ඩව පැවතුනු සිංහල වාරි ශිෂ්ටාචාරය (1 කොටස)

3

“සිංහලයින්ගේ ත්‍රිකෝණමිතිය පිළිබඳ ගැඹුරු දැනුමෙන් විස්මයජනක ය; ජලාශ සැලසුම් කිරීම හෝ “වැව”මගින් හයිඩ්‍රොලික් මූලධර්ම පිළිබඳ සිංහලයින්ගේ පූර්ණ අවබෝධය අනාවරණය වේ. සිංහලයින්ගේ වේලි වල පුළුල් පාදම තිබුණි. ජලය බැහැර කිරීම සඳහා බැම්මේ සුදුසු ස්ථානවල දැඩි පීඩන කපාට ස්ථාපනය කරන ලදී . ජලය ගලායාම නියාමනය කිරීමේ ක්‍රමය-මූලාකෘතිය වන බිසෝකොටුව (කපාට වළ) සිංහලයින් ක්‍රි.පූ. 3 වන සියවස වන විට සොයා ගන්නා ලදී, මේවායින් සමාන්තර ජලාශවලින් ජලය ගලායාම නියාමනය කරන සොරොව්වේ ක්‍රියාකාරීත්වය වඩාත් වැඩි දියුණු කරන ලදි ” යැයි 1935දී බ්‍රොහියර් පවසන ලදි.

ඉතිහාසඥයින් විසින් මුල් සිංහල සමාජය ‘වාරි ශිෂ්ටාචාරයක්’ ලෙස විස්තර කරයි (ගයිගර්, 1958; පරණවිතාන, 1964). පළමුවන සියවස තරම් ඈත කාලයකදී සිංහල ඉංජිනේරුවන් විසින් ජලය භාවිතා කරන ලදී. මහවැලි ගංගාව සහ තෙත්-කඳුකරයේ සිට වියළි තැනිතලාවට ගලා බසින අනෙකුත් ගංගා හරහා ඇළ වේලි, අමුණු සහ වැව් ඉදිකිරීම් කරන ලදී.ගාමිණී අභය රජු දක්ෂිණ දේශයෙහි ඉදි කරන ලද මහා ගාමෙන්ඩිවැව ද ඉලනාග රජු (35 – 44) රුහුණේ කරන ලද තිස්ස හා දුරතිස්ස නම් වැව් දෙක ද සදමුහුණු රජු විසින් අනුරාධපුරය අසල ඉදි කරනු ලැබූ මණිකාරගම වැව ද අයත්වන්නේ ක්‍රි.ව. පළමු සියවසේ මුල් භාගයටය.

බොහෝ පුරාණ ශිෂ්ටාචාරයවල මෙන් නොව, සාරවත් ගංගා නිම්නවල සහ මතුපිට ගලන වැසි ජලය රඳවා ගත හැකි ප්‍රදේශවල වර්ධනය වූ සිංහල වාරි සමාජය පදනම් වූයේ වාරි ජලය මුදා හැරීම සඳහා වූ ජලාශ පද්ධති සහ පාලන උපාංග මතය. ඒ හා සමානව, අනුරාධපුර සහ සිගිරි පුරාණ යුග වල නාගරික ජල හා සනීපාරක්ෂක පද්ධති, පොකුණු හා උල්පත් යනාදිය ජල සම්පත් ක්‍ෂේත්‍රයේ සිංහලයින්ගේ දක්ෂතාවට මොනවට සාක්ෂි දරයි (පරණවිතාන, 1964). ශිෂ්ටාචාරයේ වර්ධනයේ උච්චතම අවස්ථාවේ දී සිංහල වාරි ඉංජිනේරුවන් වෙනත් රටවල සේවය කිරීමට පවා කැඳවනු ලැබූ බව වාර්තා වේ.

A photograph of sluice gate (Sorowwa) of the dam of the tank fed by... | Download Scientific Diagram

විෂ්මජනක මාදුරු ඔය සොරොව්ව

පළමු පුළුල් සිංහල ජනාවාස දිවයිනේ උතුරේ වියළි කලාපයේ ගංගා නිම්න ඔස්සේ පිහිටුවිය. මෝසම් වැසි විශ්වාස කළ නොහැකි වියළි කලාපයේ, මූලික වශයෙන් තෙත් සහල් වගා කිරීම සඳහා සිංහලයන් විසින් ඉදිකරන ලද ඇළ මාර්ග, නාලිකා සහ විස්තීරණ වාරිමාර්ග සැපයීම සඳහා ජල ගබඩා ටැංකි සහ ජලාශ යොදා ගත්හ. ක්‍රි.පූ. තුන්වන සියවස වන විට මහා පරිමාණ වාරිමාර්ග කටයුතු කිහිපයක්ම තනා නිම කරන ලදි (ගයිගර්, 1958; වීරසේකර, 1955). මෙපරිද්දෙන්, අඛණ්ඩ-තිරසාර ජල කළමනාකරණ පද්ධතියක් වසර 1500 කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ නිරායාසයෙන්ම පවත්වාගැනීමට සිංහලයින්ට හැකි විය (ජයසේන සහ සෙල්කාර්, 2004).

සිංහල ඉංජිනේරුවන්ට වාරි තාක්ෂණය පිළිබඳ තිබුණු නිපුණතාවය උයන්වලට හා ආශ්‍රමවලට ජලය ගෙනයාමේදී උපයෝගීකරගෙන ඇති බව පෙනෙයි. අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත් රජවරුන් පවත්වාගෙන ගිය බවට විශ්වාස කරන රන්මසු උයනට ජලය සපයන ලද්දේ තිසා වැවෙනි. තිසා වැවේ සිට උමං ජල පද්ධතියකින් මේ උයනේ පොකුණු කරා ජලය සපයා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරන ලද ගවේෂණයක දී හෙළි වී තිබේ (මතු සම්බන්ධයි…)

Share this :