Tuesday, July 23, 2024
Local Newsසමාජ-ආර්ථික

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය, වාණිජ නිෂ්පාදනයක් ලෙස වර්ධනය වීම සහ එහි ඉතිහාසය

0

තේ නිෂ්පාදනය, ශ්‍රී ලංකාවට(අතීතයේ සිලෝන් නමින් හැඳින් වූ) විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන ම මූලාශ්‍රයක් වන අතර, 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇ.ඩො. බිලියන 1.5 කට අධික ප්‍රමාණයක් සපයමින් දළ දේශීය නිෂ්පාදනය 2% කින් වර්ධනය කිරීමට දායක වී තිබේ. එමඟින් මිලියනයකට අධික පිරිසකට සෘජු හා වක්‍ර රැකියා සපයා දී ඇති අතර, 1995 වන විට තේ වගා බිම් සහ වතුවල සෘජු රැකියා 215,338ක් උත්පාදනය කර තිබුණි. එයට අමතර ව කුඩා වතු හිමියන් යටතේ කෙරෙන තේ වගාව දහස් ගණනකට රැකියා අවස්ථා සපයන අතර ම පවුල් දස දහසකට අධික පිරිසකගේ ප්‍රධාන ම ජීවන වෘත්තිය බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව ලෝකයේ සිව්වන විශාලත ම තේ නිෂ්පාදකයා වේ. 1995 දී ලංකාව ලෝක නිෂ්පාදනයෙන් 23%ක් හිමි කර ගනිමින් ලොව ප්‍රමුඛත ම තේ අපනයනකරුවා (නිෂ්පාදකයාට වඩා) බවට පත් වූ අතර වර්තමානයේ එම තැන හිමිකරගෙන සිටිනුයේ කෙන්යාව යි. 2013 වසරේ දී කිලෝ ග්‍රෑම් මිලියන 340ක ඉහළ ම නිෂ්පාදනය වාර්තා වූ අතර, 2014 දී එය කිලෝ ග්‍රෑම් මිලියන 338ක් දක්වා සුළු අඩුවීමකට ලක් ව තිබේ.

ලංකාවේ මධ්‍යම කඳුකරයේ පවත්නා ආර්ද්‍රතාව, සිසිල් උෂ්ණත්වය, සහ වර්ෂාපතනය උසස් තත්ත්වයේ තේ නිෂ්පාදනයට අවශ්‍ය හිතකර දේශගුණය සපයයි. අනෙක් අතට, මාතර, ගාල්ල, රත්නපුර වැනි ප්‍රදේශවල පවතින ඉහළ උෂ්ණත්වය සහ ඉහළ වර්ෂාපතනය යටතේ නිෂ්පාදනය කෙරෙන තේවල ඉහළ කහට රසයක් පවතී. පහළ උන්නතාංශ ප්‍රදේශවල තේ ශාකය, තමන් විසින් ම නිෂ්පාදනය කර ගන්නා ජෛව ස්කන්ධ ප්‍රමාණය සාපේක්ෂ ව වැඩි ය. එවැනි තේ මැද පෙරදිග රට

වල වඩාත් ජනප්‍රිය ය. 1852 ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තේ වැවිලිකරුවකු වන ජේම්ස් ටේලර් විසින් 1867 දී ශ්‍රී ලංකාවට තේ කර්මාන්තය හඳුන්වා දෙන ලදී. 1970 සිට කුඩා වතු හිමියන් යටතේ තේ වගා කිරීම ජනප්‍රිය වී තිබේ.

1880 වන විට ලංකාවේ තේ නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස ඉහළ ගිය අතර 1888 වන විට කෝපි වගා කර තිබූ බිම් ප්‍රමාණය අබිබවමින් 1899 වන විට ආසන්න වශයෙන් අක්කර 400,000(ව.කි.මී.1,619)ක තේ වගා කර තිබුණි. චාල්ස් හෙන්රි ද සොයිසා, මුල් කාලයේ තේ නිෂ්පාදනය සඳහා යොමු වූ එක ම ලාංකිකයා බවට පත් විය. එකල කෝපි වගාවේ කේන්ද්‍රස්ථානය ලෙස පැවති නුවරට ආසන්න පොයිස්ටන් (Poyston) වැනි වතු යායන් 1880 දී මෙරටට පැමිණි හෙන්රි රැන්ඩොල්ෆ් ට්‍රැෆෝර්ඩ්

වැනි පුද්ගලයන් විසින් මිලට ගන්නා ලදී. ලංකාවේ තේ වගාවේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන ඔහුට කෝපි වගාව ගැන පැවතියේ සුළු දැනුමක් වුව ද තේ වගාව ගැන සැලකිය යුතු දැනුමක් පැවතුණි.  1883 වන විට ඔහු ඒ වන විට තේ වගාවට මාරු වෙමින් පැවති බෙහෝ වතුවල නේවාසික කළමණාකරු බවට පත් විය. 1880 අග භාගය වන විට ලංකාවේ පැවති කෝපි වතු සියල්ල ම පාහේ තේ වගා බිම් බවට පරිවර්තනය වී තිබුණි. ඒ හා සමාන ම වේගයකින්, පැවති ඉල්ලුම හමුවේ කෝපි ගබඩා තේ කර්මාන්තශාලා බවට පත් විය. 1877 සැමුවෙල් ක්ලේලන්ඩ් ඩේවිඩ්සන්ගේ ‘සිරොක්කෝ'(Sirocco)නමැති තේ වියළනය, 1880 ජෝන් වෝල්කර් සහ සමාගම මගින් නිෂ්පාදනය කළ තේ රෝල් කිරීමේ යන්ත්‍රය වැනි වාණිජ තේ වගාව යථාර්ථයක් බවට පත් කළ අත්‍යවශ්‍ය මෙවලම් හේතුවෙන් 1880 වන විට තේ නිෂ්පාදන තාක්ෂණය ශීඝ්‍ර ලෙස වර්ධනය වන්නට විය. මෙම වාණිජ නිෂ්පාදන යථාර්ථය, 1884 දී නුවරඑළිය ෆෙයරිලන්ඩ් වතුයායේ( Pedro)මධ්‍යම තේ කර්මාන්තශාලාව ඉදි කිරීමත් සමඟ තවදුරටත් තහවුරු විය. ලංකාවේ තේ නිෂ්පාදනය වර්ධනය වීමත් සමඟ එංගලන්තය විසින් නව කර්මාන්තශාලා ඉදි කිරීමත් යාන්ත්‍රික නවෝත්පාදන ක්‍රම හඳුන්වාදීමත් සිදු කෙරිණි. ලින්ක්ෂයර්හි ගෙන්ස්බර්ග් ප්‍රදේශයේ මාෂල්, පුත්‍රයෝ සහ සමාගම, බර්මිංහැම්හි ටැංගීස් යන්ත්‍ර සමාගම සහ බෙල්ෆාස්ට්හි ඩේවිඩ්සන් සහ සමාගම වැනි සමාගම් එදා සිට අද දක්වා කර්මාන්තශාලාවලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සැපයීම සිදු කරති—-විකිපීඩියා වෙතින් (https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B6%AD%E0%B7%9A_%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA)

 

Share this :