Wednesday, July 24, 2024
Local Newsසමාජ-ආර්ථික

සිංහල ජන වර්ගය විජාවතරණයෙන් ඇරඹි බව විද්‍යාත්මකව තහවුරු වන අයුරු

2

ලිපිය ආරම්භයේදීම යම් සඳහනක් කරනවා නම් මේ ලිපිය පදනම්ව ඇත්තේ හුදෙක් මිත්‍යා ප්‍රබන්ධ දේව කතා වලට එහා ගිය විද්‍යාත්මක කරුණක් මත බවයි. වර්ග කිලෝමීටර 65,610 භූමි ප්‍රදේශයකට හිමිකම් කියන මේ බිමෙහි වාසය කරන ” සිංහල ” නම් ජන වර්ගයේ ආරම්භය ගැන සැලකූ විට සෑම සියළු දෙනා පිළිගත් කරුණක්ව පවතින්නේ එය ” විජය ” නම් බෙංගාල ප්‍රදේශයේ සිට පැමිණි රාජකීයෙකු හා ඔහුගේ පිරිසෙන්ද, පසුව ඔවුන් විසින් විටින් විට තම මව් රාජ්‍ය ප්‍රදේශයෙන් ගෙන්වා ගත් ශාක්‍ය නම් වංශයකට අයත් පිරිසෙන් සිංහලයන් පැවත එන බවය. එහෙත් හිටි හැටියේම යම් පිරිසක් විසින් රාමයණය නම් දේව කතා ප්‍රබන්ධය මත පදනම්ව මතවාදයක් ගොඩනගනවා ” සිංහල ” ජාතියේ ආරම්භය රාමයණයේ සඳහන් “රාවණ” නම් පුද්ගලයාගෙන් පැවත එන්නක් බව. ඔවුනට අනුව රාමයණ දේව ප්‍රබන්ධයේ සඳහන් “ලංකාපුර”ය මේ වර්ග කිලෝමීටර 65,610 භූමි ප්‍රදේශ බවත්, ප්‍රබන්ධයේ සඳහන් ” රාවණ ” නැමැත්තා අහස්යානා, න්‍යෂ්ටික බලය සමග අභ්‍යවකාශයද ජයගෙන තිබූ බවත්ය. මේ ” රාවණ” නම් චරිතය ජීවත් වූවා යැයි කියන නිශ්චිත කාල පරාසයක් තවමත් කිසිවෙකුට තහවුරු කරගැන්මට නොහැකිව ඇත්තේ ඔහු හෝ ඔහුගේ අහස්යානා, න්‍යෂ්ටික බලාගාර පිළිබඳ කිසිදු පුරාවිද්‍යාතමක සාධකයක් මෙතෙක් හමුව නැති බැවිණි. ( වර්ග කිලෝමීටර 65,610 භූමි ප්‍රදේශයකින් යුතු මේ බිමට ” ලංකාපුර ” යන නාමයක් සඳහන් නොවන අතර මෙය රටක් විනා පුරයක්ද නොවේ ).

විජයාවතරණයෙන් නොව රාමයණයේ සඳහන් ” රාවණ ” නැමැත්තාගෙන් ” සිංහල ” නම් ජාතිය ඇරඹි බව තර්ක කරන්නන්ගේ මූලිකම ප්‍රශ්නය වනුයේ ” විජය පැමිණීමට පෙර මිනිසුන් මෙබිමෙහි සිටියේ නැද්ද? ” යන්නයි. මේ පිළිබඳ පුරාවිද්‍යාත්මකව සලකා බලන විට ” බලංගොඩ ” ප්‍රදේශයෙන් හඳුනාගත් ප්‍රාග් මානවයන්ගේ පොසිල වලින් පෙනී යන්නේ යම් මානව කොට්ටාසයක් මෙහි වාසය කල බවටයි. ඉන්පසු විජය නැමැත්තා මෙරටට පැමිණෙන විට යම් ජන කොට්ටාසයක් විසු බවද සඳහන්ය. නමුදු එම බලංගොඩ-විජය කාල පරාස දෙක අතර කාලයේ කිසියම් දියුණු ශිෂ්ටාචාර ගත ගෘහාශ්‍රිතව දිවි ගෙවූ, වාරි තාක්ශණයක් හිමි, රාජ්‍ය පාලනයක් හිමි ජන කොටසක් විසූ බවට කිසිම විද්‍යාතමක සාධකයක් නැත.

දැන් අප ලිපියේ මුලිකම කොටසට අවාධානය යොමු කරමු. එනම් මේ “සිංහල” නම් ජාතිය “විජය” නම් පුද්ගලයා ඇතුලු පිරිසගෙන් ආරම්භ වූ බව ” ජාන විද්‍යාවට” අනුව තහවුරු වන ආකාරය විමසීමයි. වර්තමානයේ තාක්ශණයේ දියුණුවත් සමගම සොයාගත් කරුණු වලට අනුව පුද්ගලයෙකුගේ “ජාන” සැකැස්ම අනුව එම පුද්ගලයා එසේත් නැතිනම් එම ජන කොටසට අයත් ප්‍රවේණිය පිළිබඳ නිවැරදි දත්ත වසර දහස් ගණනක් වුවත් ආපස්සට තහවුරු වන බවයි. මේ ජාන විද්‍යාතමක කරුණු වලට අනුව ලොකයේ ජාන ප්‍රභේද කිහිපයකට අයත් මානව වර්ග ඇත. මෙම ජාන සැකැස්ම දෙමව්පියන්ගෙන් දරුවන්ට උරුම වන්නක් වේ. මෙහිදි ලංකාවේ ජාන කාණ්ඩ දෙකකට අයත් මිනිසුන් ඇත. එනම් ” ඉන්දු-ආර්ය ” හා “Australoid” ජාන සැකැස්මන් දෙකයි. මෙහි “Australoid” ජාන සැකැස්ම වැද්දන් නොහොත් ආදිවාසි පරපුර හිමිකම් කියන අතර සිංහල ජනතාව “ඉන්දු-ආර්ය” වර්ගයේ ජාන සැකැස්මට හිමිකම් කියයි. මෙයින් 100% තහවුරු වන්නේ මේ “සිංහල” නම් ජන කොට්ටාසය ප්‍රවේණිගත වන්නේ “ඉන්දු-ආර්ය” ජන ප්‍රභේදයෙන් බවත් ස්වදේශිකව විසූ මානව කොට්ටාසය නම් “Australoid” නොහොත් වැදි ජනයා බවත්ය. මෙහි තවත් වැදගත්ම කරුණ වන්නේ මෙම සිංහල ජන කොටසට හිමි “ඉන්දු-ආර්ය” ජාන සැකැස්ම තවදුරටත් අධ්‍යනය කල පරික්ෂා කිරිම් වලදි එය “බෙංගාල” ජාතිකයන්ට හිමි ඉන්දු-ආර්ය ජාන සැකැස්මට 70% ක සමානකමක් දක්වන බවක්ය. සිංහලයන්ගේ මුල් පුරුක බව සඳහන් වන “විජය” නැමැත්තාද බෙංගාල ප්‍රදේශයේ සිට පැමිණීම තුළින්ද සිංහලයන්ට හිමි මෙම “ඉන්දු-ආර්ය” ජාන සැකැස්ම තුළින්ද “සිංහල” නම් ජන වර්ගය විජයගෙන් හා වරින් වර ගෙන්වා ගත් ආර්ය පිරිසගෙන් ප්‍රවේණිගත වන බව මනාව පැහැදිලිය. ඔවුන් පැමිණෙන විට සිටි අනෙක් මානව කොටස නම් “Australoid” ජාන සැකැස්මට හිමිකම් කියන වැදි ජනතාවයි. රාවණ භක්තිකයින් පවසන පරිදි ඊට පරිභාහිරව මෙම බිමෙහිම විසු රොකට් යැවීමට පවා සමත් දියුණු ජන කොටසකින් සිංහල නම් ජාතිය ප්‍රවේණිගත වන්නේ නම් එම අයවලුන් වර්තමානයේ “සිංහල” නම් හඳුන්වන මෙම භූමියේ වසන සිංහලයන් නොවන බවනම් තහවුරුය. එහෙත් සිංහල ජන වර්ගයේ ජාන සැකැස්ම ඉන්දු-ආර්ය ජාන සැකැස්මක් වීම මෙන්ම බෙංගාලි ජනයාට වඩාත් සමීප වීම තුලින්, ලිඛිත හා පුරාවිද්‍යා සාධක වලින් තහවුරු වූ විජයාවතරණයෙන් “සිංහල” ජාතිය පැවැත ඒම ජාන විද්‍යාත්මකවද තහවුරු වන්නේය.

සුද්දා ඉතිහාසේ සියල්ල විකුර්ති කරලා යැයි මුසා තෙපර බාන ශිව රාවණ භක්තිකයින්ට පැවැසීමට ඇත්තේ මිලියන ගනනක් වූ සිංහල හා අනෙක් ඉන්දු-ආර්ය ජනතාවගේ ජාන සැකැස්මත් සුද්දා විසින් යටත්විජිත කාලයේ වෙනස් කර ඇතිය කියනවානම් ඒ සුද්දා විශ්මකර්මයෙක් විය යුතුය. එමෙන්ම රාවණ යනු රාමායණ දේව ප්‍රබන්ධයේ තවත් එක් චරිතයක්ම බව පැහැදිලිය.

උපුටා ගැනීම:රාවණ මිත්‍යාවට එරෙහිව ථෙරවාද බෞද්ධයන්

https://www.facebook.com/RavanaMyth/photos/a.112016993830949/114962206869761/?type=3&theater

Share this :