Saturday, June 15, 2024
Local Newsසමාජ-ආර්ථික

සිංහල භාෂාවේ සම්භවය හා ප්‍රවර්ධනය

0

ඓතිහාසික වාග් විද්‍යාඥයන් බහුතරයක ගේ විශ්වාසය ලොව පවත්නා බොහොමයක්‌ භාෂා, මූලයන් පවුල් පහකට අයත් වන බවය. එනම් ඉන්‍දු යුරෝපීය පවුලත්, හැමිටෝ සෙමිටික්‌ පවුලත්, චීන තිබ්බතීය පවුලත්, ඔස්‌ට්‌ක්‌ පවුලත්, ද්‍රවිඩ පවුලත් යන භාෂා පවුල් පහය. අධ්‍යයන තුළින් විද්වතුන් පෙන්වා දෙන්නේ, සිංහලය අයත් භාෂා පවුල වන්නේ, ඉන්‍දු යුරෝපීය භාෂා පවුල බවය.

සිංහල භාෂාවේ සම්භවය විමසන විද්වතුන් අතර මහාචාර්ය විමල් බලගල්ලේ සූරීන්, ඓතිහාසික කරුණු ඇසුරින් පවතින මතිමතාන්තර හා නිරීක්‌ෂණ අනුව සිංහලය ඉන්‍දු ආර්‍ය්‍ය ගණයට අයත් භාෂාවක්‌ යන්නත් අනාර්ය හෙවත් එම ගණයෙන් අන්‍යතර භාෂාවක්‌ ලෙසත් දෙවගකට බෙදිය හැකි බව පෙන්වා දෙයි. මේ පිළිබඳව ගැඹුරින් කරුණු විමසන හෙතෙම පවසන්නේ, 19 වන සියවසේ ද්විතීය භාගයේ ඇතිවූ සංවාදයන්ට අනුව, සිංහලය ඉන්‍දු ආර්‍ය්‍ය ගණයට අයත්ය යන මතය විද්වතුන් විශාල සංඛ්‍යාවක ගේ නිසඟ මතය වූ බවයි. ( බලන්න, සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය)

සිංහල භාෂාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් සිංහල අභිලේඛන පමණක්‌ නොව සංස්‌කෘත ප්‍රාකෘත දමිළ භාෂාවන්ගෙන් ලියෑවුණු යම් යම් අභිලේඛන පිළිබඳව ද ඉන්‍දු නදී මිටියාවතෙහි ලේඛන පිළිබඳව ද උද්යෝගයකින් සිය විමර්ශන මෙහෙය වූ ප්‍රාඥයෙකි. පරණවිතාන සූරීන් සීගිරි ග්‍රැෆිටි නම් ග්‍රන්ථය හැරුණ විට එපිග්‍රෆියා ඉන්ඩිකා එපිෆියා සෙයිලනිකා, සිලෝන් ජර්නල් ඔෆ් සයන්ස්‌, ජර්නල් ඔෆ් ද රෝයල් ඒෂියටික්‌ සොසයිටි ඔෆ් ග්‍රේට්‌ බ්‍රිටන් ඇන්ඩ් අයර්ලන්ඩ්, ජර්නල් ඔෆ් ද රෝයල් ඒෂියටික්‌ සොසයිටි (සිලෝන් බ්‍රාන්ච්) ජර්නල් ඔෆ් ද ඇමරිකන් ඔරියන්ටල් සොසයිටි, යුනිවසිටි ඔෆ් සිලෝන් වියූ යන ප්‍රකාශනයන්හි පළ කරන ලද ලිපි මගින් සිංහල භාෂාව පිළිබඳව නවමු ආලෝකයක්‌ ලොවට විහිදවූ බව ප්‍රකට කරුණකි. සීගිරි කුරුටු ගී පිළිබඳව වරක්‌ එතුමා සඳහන් කළේ,

“සාහිත්‍ය කෘතීන්හි දැක්‌වෙන, සම්මත සිංහල භාෂාවේ ප්‍රභවයට හේතු වූ පැරණි ඉන්‍දීය භාෂා හා සම කළ කල්හි එම සිංහලය පෙන්වන ශබ්ද විද්‍යාත්මක ප්‍රධාන වෙනස්‌කම් සියල්ල ද, නෑකම් ඇති ඉන්‍දු ආර්‍ය්‍ය භාෂාවන්ගෙන් එම සිංහල භාෂාව විශේෂ බවට පත්කරනු ලබන එබඳු අනිත් වෙනස්‌කම් ද මේ සීගිරි ලේඛනයන්ගෙන් ප්‍රකට වෙයි. මේ ඉතා වැදගත් ශබ්ද විද්‍යා ප්‍රවර්තනයන් ගෙන් සමහරක්‌ ඇ’ ස්‌වරය පිළිබඳ සිද්ධිය මෙන් මේ ලේඛන සමයට පූර්ව නොවූ කාලයක පැවති භාෂාවේ පළමු වරට සිදුවූ බව පෙනේ” යනුවෙනි. (මහාචාර්ය සෙනරත් පරණවිතාන) (සංස්‌කෘති ප්‍රකාශන)

ඉතිහාසය පිළිබඳව මතු කර ගත් නිහඬ සාක්‌ෂි ඔස්‌සේ ගැඹුරට කරුණු විමසූ පරණවිතාන සූරීන්, අට, නවය සහ දහ වැනි සියවස්‌වල ලියවුණ (මධ්‍ය සිංහල යුගයට අයත්) බවට සැලකෙන සීගිරි කුරුටු ලිපිවලින්, නූතන සිංහල වර්ණ වින්‍යාසයෙහි ඉතිහාසය පිළිබඳ යම් යම් ලක්‌ෂණ විග්‍රහ කර ඇති බව ප්‍රකට ය. එනම්, ය්, යි, ව්, වු යන අක්‌ෂර මාරුකර ලිවිය හැකි බව, කරයි, කරය්, පවුල, පව්ල, අයිය, අය්ය, යන වචන උදාහරණ ලෙස පෙන්වමිනි. (සංස්‌කෘති – සීගිරි ග්‍රැෆිෆිටි ඇසුරිණි) පුරාතන සිංහල යුගය, පිළිබඳ ගයිගර් පඬිවරයා උපුටා දක්‌වමින් කරුණු විමසන, මහාචාර්ය විමල් බලගල්ලේ සූරීන් පවසන්නේ, ක්‍රි. පූ. 2 සියවස අවසානයේ හෝ 3 සියවසේ මුලට අයත් යෑයි විශ්වාසිත හිරියාලේ පෙරිය කඩුව විහාර සෙල්ලිපියෙහි, ප්‍රථම වරට ‘අ’ ‘ඉ’ ‘ය’ යන අක්‌ෂර පරණවිතාන මහතා කියවන ලද බවය.

මධ්‍ය සිංහල යුගයේ අවසානය හා නූතන යුගයේ ආරම්භය විමසන බලගල්ලේ සූරීන් සිදත් සඟරාව සම්පාදනය වූ මෙම කාලයේ ගද්‍යයට එතරම් බලපෑමක්‌ නොවුණ බව පවසයි. එමෙන්ම සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, ස්‌තූපවංශය, සිංහල ජාතක පොත, සිංහල මහාබෝධි වංශය, සද්ධර්මාලංකාරය ආදියෙන් නියෝජනය වන දඹදෙණි, කුරුණෑගල, ගම්පොල යුගයේ ගද්‍ය සමග අමාවතුර, බුත්සරණ ආදියෙන් නියෝජනය වන පොලොන්නරු යුගයේ ගද්‍යයන් ද සමග සසඳන විට වාක්‍ය සන්‍දර්භය හා රචනා රීතිය අතින් සුඵ වෙනසක්‌ සිදු වුවද භාෂා පරිණාමය අතින් යුගයක්‌ පරීක්‌සීමට කරුණු නොවුණ බව ද පෙන්වා දෙයි.

මධ්‍ය සිංහල යුගයෙන් පසු (14 සහ 15 සියවස) මයුර, ගිරා, සැළලිහිණි සන්‍දේශ වගේම කාව්‍යශේඛරය, ගුත්තිල කාව්‍යය, බුදුගුණ අලංකාරය, ලෝවැඩ සඟරාව ආදියේ භාෂා ශෛලියත් සමග සිදත් සඟරාවට පූර්ව මධ්‍ය සිංහල යුගයේ ලියෑවෙන සියබස්‌ලකර, මුවදෙව්දෑවන, සසදෑව යන කෘතීන්හි භාෂාව විමසීමේ දී සම්භාව්‍ය භාෂා ලක්‌ෂණ ඉස්‌මතුවීම මහාචාර්ය ගයිගර් සූරීන් සම්භාව්‍ය යුගයක්‌ එක්‌ කිරීමට හේතු වන්නට ඇතැයි යනුවෙන් ඇතැම් විද්වත්හු කල්පනා කරති–විකිපීඩියා වෙතින්

Share this :