කාලිංග මාඝගේ ආක්‍රමණය
“අපි කේරළ යෝධයමහ“ යි වහසි සේ දොඩවන සූවිසි දහසක් දරුණු යෝධයින් සමග ලංකා භූමියට ගොඩබැස්ස කෲර කාලිංග මාඝ නැමැත්තා මානාභරණ නම් සෙනෙවියකු විසින් ලංකා රාජ්‍යයට පත් කරන ලදී. (බු.ව. 1768 -1789 / ක්‍රි.ව. 1225 – 1246)
පොළොන්නරුවේ මහා පැරකුම් නිරිඳුන්ගේ අවසානයත් දඹදෙණි වත්හිමි තුන්වන විජයබා නිරිඳුන් ගේ රාජෝද්‍යත් අතර කාල සීමාව හැම අතින් අභාග්‍ය සම්පන්න විය. ධනය හා බලයට රාජ්‍ය බලය පැහැර ගෙන රජකමට පත් වූ දුර්වල පාලකයෝ ලක් පොළොවේ සෞභාග්‍යයට වඩා ඉහළින් තමන්ගේ පුද්ගල වාසිය ම පැතූහ. ඇතැමෙක් දුෂ්ට වූ කූඨ ප්‍රයෝගයෙන් ඇනකොටා ගන්ටත් මරන්ටත් උගුල් ඇද්දාහ. 34 අවුරුද්දක් තුළ සොළොස් දෙනෙක් රාජ්‍ය බලයට පත් වූහ. පස් වසරකට වඩා වැඩියෙන් රට පාලනය කළේ නිශ්ශංකමල්ල රජතුමාත් කල්‍යාණවතී බිසවත් පමණි. ඔවුන්ගෙන් කිසිදු සේවයක් රටට නොවීය.
දුර්වල පාලනය හේතුවෙන් කාලිංගමාඝට පළමුව මහා සේනාවක් රැගෙන පඬි රටින් ආ පරාක්‍රමපණ්ඩු නැමැත්තෙක් ලීලාවතී බිසව හා පරාක්‍රම සෙනෙවියා නෙරපා අවුරුදු තුනක් පොළොන්නරුව පාලනය කරගෙන ගියේය. මෙකල කළිඟු රටින් ආ කාලිංග මාඝ පොළොන්නරුව වටලා පරාක්‍රම පණ්ඩු අල්ලා ඇස් උගුළුවා අනාථ කොට ඔහු සතු සියලු ධනය ද රාජ්‍ය ද පැහැරගෙන එතැන් සිට කෲර ලෙස රට පාලනය ගෙන ගිය බව මහාවංශය හා පූජාවලිය විස්තර කරන්නේ මහා සංවේගයකිනි.
19 වසරක් රට පාලනය කළ කාලිංග මාඝ ලක්බිම කෙතරම් අගාධයට හෙළුවේ ද යන්න විස්තර කිරීමට අපොහොසත්ය. මහාවංශය පවසන්නේ මේ වනාහි ලංකාවාසී ජනතාවගේ දරුණු වූ අකුසල කර්මයක් හේතුකොටගෙන කාලිංග මාඝ මෙරට ආක්‍රමණය කළ බවයි. පොළොව අරක්ගෙන සිටි මහේශාක්‍ය දෙවිවරුන්, දුර්වල පාලකයන් නිසා තමන් සතු ආරක්ෂක විධිවිධාන වල නොයෙදී යුතුකම් පැහැර හැර කල්හි මිථ්‍යා දෘෂ්ටියේ ඇලී ගැලී දුර්නිතියෙහි යෙදුන දානාදී පින්කම් නොකරන සංඝයා වහන්සේලා නොපුදන කාලිංග මාඝ මෙරටට ආ බව වැඩිදුරටත් මහාවංශයේ හා පූජාවලිය කියා සිටි. ඔහු කළ අපරාධ සීමාවක් නැත. සැදැහැවත් රජදරුවන්ගේ ඔටුනු හා රන් රුවන් උදුරා ගත්තේය. මහා සෑය ඇතුළු සෙසු දාගැබ් දහසක් බිඳුවා ඒවායේ මුතු මැණික් රන් ආදී වටිනා නිදන් වස්තු තමාගේ දුර්දාන්ත සෙබළුන් ලවා පැහැරගත්තේය. සංඝාරාම ආදී පූජනීය ස්ථාන දෙමළුන්ට ගෙවල් කරවා දී සංඝයා වහන්සේලා මරමින් ද පලවා හරිමින් ද ශාසනය විනාශ කරන ලදී. කුල ස්ත්‍රීන් ගේ ජාති බිඳුවා කුල මිශ්‍රණය කොට ගරුත්වය කෙලෙසා බෞද්ධ සංස්කෘතික සමාජය හැදියාව යහපත් සිරිත් විරිත් විනාශ කළේය. සිංහලයන් මිථ්‍යාදෘෂ්ටිකයන් කළේය. සිංහලයින් සතු ගෙවල් දොරවල් කෙත්වතු ගම් යනාදී දේපළ පැහැර ගත්තේය. එපමණක්ද නොවේ ඔවුන් ගේ අත් පා සිඳ විකාරයට පමුණුවන ලදී. සෙබළුන් ලවා ගමක් ගමක් පාසා බලහත්කාරයෙන් දෙමළුන් පදිංචි කරවීමෙන් මුළු ලක්දෙරණම ගිනිගත් ගෙයක් සේ අවුලවා ලීය.
මෙලෙස පූජාවලිය විස්තර කරන විට මහා වංශය ද එලෙසම දක්වා ඇත. කාලිංග මාඝ යුධ වාසස්ථාන පිණිස තෝරාගත්තේ වෙහෙර විහාර පිරිවෙන් හා දේවාලය. මාඝ සේනාව විවිධාකාර විදිහට රට වැසියන් ට වධහිංසා කළහ. ඔවුන් තැනින් තැන මිනිසුන්ගේ වස්ත්‍රාභරණ පැහැරගත්හ. කලක් තිස්සේ පැවත ගෙන එන කුල සිරිත් කුල කාන්තාවන්ගේ කුල ගෞරවය කැත කළහ. කුල දූෂණයෙන් තිරසනුන් මෙන් හැසිරෙමින් ගැහැණු පිරිමි බවවත් නොසළකා සිංහලයෙන් පෙලුහ. ගව මහීෂාදීන් තමන් සතු කරගත් ධනවතුන්ගේ ධනය පැහැර ගෙන ඔවුන් දිළින්දන් කළහ. දනන් ලවා බර ඉසුලවුහ. උපාසකයින් පෙලුහ. දරුවන් තැලුහ. සුරැකිව තැබූ වටිනා පුවත්පත් ලනුවෙන් මුදා තන්හි තන්හි විසිරුවා විනාශ කළහ. උස්මහත් දාගැබ් හෙලා වනසා නිධන් කොට තිබූ ධාතූන් වහන්සේලා අතුරුදන් කළහ. ලක් රජය නැමැති සරුසාර මහ වනය දවා හළු කිරීමට ආව මාඝ නිවිය නොහැකි ලැව්ගින්නක් සමානයි.
සම්බුද්ධ ශාසන විෂයෙහි මාඝ රජුගේ කෲර ව්‍යාපාරයන්හි අනර්ථකර ප්‍රතිඵලයක් කියා නිමකල නොහැක. ශාස්ත්‍ර විෂයයෙහි රටට අලාභය සුලුපටු නොවේ. විහාර පිරිවෙන්වල විසු සිල්වත් ගුණවත් භික්ෂූ සංඝයා හා සිල්වත් ජනයා පළවා හැර මාඝගේ සේනා ඒවා වාසභූමි කොට ගැනීමෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය හා පත පොත හැදෑරීමට ලේඛන ගත කිරීමට අවශ්‍ය විවේකය ස්ථානය ලේඛකයින්ට නැතිව ගියේය. එයින් ශාස්ත්‍රීය කටයුතු මුළුමනින්ම විනාශ වී ගියේය. ඉගෙනීමෙහිද ඉගැන්වීමෙහි ද ලිවීමේ හා ලියවීමෙහි ද නිරත වූ සැදැහැවත් උගතුන්ට සිය කටයුතු කරගෙන යෑමට අවසර නොදුනි. උපාසකයන්ට පහරදී පලවා හැරීය. ඒ බව මහා වංශයේ සඳහන් ව ඇත. පොළොන්නරුවේ ඇතිව තිබූ මේ අභාග්‍යසම්පන්න කාලය හැම අතින් ම විනාශ මුඛයට ඇද වැටීම නිසා කිසිදු ආරක්ෂාවක් නොවුන බුද්ධ ශාසනය, භික්ෂු සාසනය, දළදා ධාතූන් වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ අසරණ විය. පොළොන්නරුවෙන් දළදාව හා පාත්‍රධාතුව බේරාගත් මහා තෙරවරු මහ කැලෑ වැද එහිදී රැකගැනීම අපහසු වූයෙන් මායා රටට අවුත් එහි කොත්මලය පව්වෙහි එක්තරා සුදුසු ආරක්ෂක තැනක නිදන් කර ඇත. සතුරු උවදුරින් දිවි බේරාගැනීමට මහා තෙරවරු මහ මුහුදෙන් එතෙර සොළී, පඬි ආදී රටවලට ගියාහ. දඹදෙණියේ වත්හිමි තුන්වන විජයබා නිරිඳුන් මහාමාත්‍යයන් ලවා නැවත මෙරටට ගෙන්වා ගත් බව මහාවංශයේ විස්තර කර ඇත.
පොළොන්නරුවෙන් රාජධානිය දඹදෙණියට යාමට මුලික හේතුව වුයේ මාඝ ගේ කෲර පාලනයයි. සිංහලයාගේ අකුසල කර්මයක ප්‍රතිඵලයක් යැයි මහාවංශයේ කියමන සත්‍යයක් බව පුරා විද්‍යාත්මක කෘති වලින් ද හෙළිවේ. කාලිංග මාඝ හා ඔහුගේ සෙබළු කිසියම් පැත්තකින් වත් නිදහසේ සිංහලයින්ට හුස්ම ගැනීමට නොදුන්නාහ. විඩුඩභ කුමරු ශාක්‍ය වංශිකයන් සමූල ඝාතනය කළ අයුරු සිහියට නැගේ. එසේ ඉංග්‍රීසි ජාතිකයා වේල්ලස්සට කළ දේ ද මීට සමානය. මාඝගේ කෲර පාලනය ලක්දිවට එල්ල නොවූයේ නම් ලක්දිවයින දියුණුවේ මුදුන් තලයම නගිනු නොඅනුමානය. එය ඒ තරමටම බිහිසුණු එකක් විය.