වයඹ සරසවියේ මිණිකැටය සහ ඊළඟ අනතුර
විශ්වවිද්‍යාල තුළ මළ පෙරේතයෝ ද මළ පෙරේතියෝ ද සිටිති. අසරණ සිසු සිසුවියන්ට නවක වධය දෙන්නේ ඒ තිරිසනුන් ය. සමහරවිට මේ නවක වධය ඉතා වේදනාකාරි ලිංගික අඩන්තේට්ටම් දක්වා යයි. එහෙත් මෙබඳු කුණු ගඳ ගහන ගොමරිටි අතර මැණික් කැට වැනි සරසවි සිසු සිසුවියෝ ද සිටිති. පසුගියදා කතරගම – කුරුණෑගල, රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුරේදී ද මෙබඳු සරසවි මිණිකැටයක් හමුවිය. නිශානි නාමල් රත්නායක නමැති ඇය වයඹ සරසවියේ අධ්‍යාපනය ලබන්නීය. අනතුර සිදු වූ බසයේ ගමන් කළ ඇය බසය ප්‍රපාතයට පෙරළීමෙන් පසු බරපතළ තුවාල ලැබුවාය. ඇගේ එක අතක් උරහිසින් ගැලවී හමෙන් සහ කාටිලේජවලින් පමණක් එල්ලා වැටෙමින් තිබිණ.
ඒ අතර අනතුරට පත් වූ බිලිඳු දැරියක, කිසිවකු විසින් ඇයට දෙන ලදී. අනෙක් අතෙන් දැරිය තුරුලු කරගත් නිශානි රම්බොඩ පරිසරයේ අධික සීතල නොදැනෙන පරිදි තම උණුසුම දරුවාට ලබාදුන්නාය. මෙහිදී ඇය කල්පනා කළේ දරුවා කාගේ ද යන්න නොව කාගේ හරි දරුවෙක් යන්නය. මේ මව්වත් අදහස විසින් ඇයට අප්‍රමාණ චිත්ත ධෛර්යයක් දෙන ලදී. දැන් ඇය රෝහල්ගත කර ඇති අතර ඇගේ අත නැවතත් ශරීරයට බද්ධ කිරීම අවශ්‍ය වේ. මේ ලෝකයේ බලගතු අදෘශ්‍යමාන බලවේග තිබේ නම් සහ අති දක්ෂ දොස්තරවරු සිටිත් නම් නිශානි රත්නායක යළි පරණ පුරුදු සෞඛ්‍ය සම්පන්න ජීවිතයට එළඹෙනවා ඇත. ඇය විසින් කරන ලද සද්කාර්යය සංසාරය පුරාම පල දෙන කටයුත්තකි…..|තව කියවන්න දිවයින