Tuesday, July 23, 2024
Local Newsදේශපාලන

විල්පත්තු අභය භූමියෙන් අක්කර 46,850ක් දැනටමත් විනාශයි

7

1992 සිට 2018 දක්වා වසර 26 කාලය තුල විල්පත්තු අභය භූමියෙන් අක්කර 46,850ක් (හෙක්ටෙයාර 19,524ක්) විනාශ වී ඇත. වැඩිම වන විනාශය සිදු වී ඇත්තේ ඉහළ විල්පත්තු කලාපයට වන අතර එය සියයට 7.48කි. මෙය සිදු වී ඇත්තේ එම කලාපයේ වනය වෙනත් ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීමෙනී. තවද, සමස්ත විල්පත්තු කලාපයම කැබැලි වලට වෙන්වීමේ ඉමහත් තර්ජනය මුහුණ පා ඇති අතර එමගින් ස්වභාවික පරිසර පද්ධතිය දැඩි අවධානමක හෙළා ඇත. එබැවින්, විල්පත්තු වන වියන රැක ගැනීමට කඩිනම් ක්‍රියාමර්ග ගැනීම ඉතාම අත්‍යවශ්‍ය බව මේ සම්බන්ධ පර්යේෂණයක නියැලුනු පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පර්යේෂකයින් පිරිසක් විසින් පෙන්වා දෙයි.

විල්පත්තු වනාන්තරය අයත් වන්නේ ශ්‍රී ලංකාවෙ උතුරු මැද, වයඹ සහ උතුරු පළාත්වලටය. විල්පත්තු වනාන්තර සංකීර්ණය හෙක්ටයාර 213,755 ක භූමි ප්‍රදේශයකින් සමන්විත වන අතර දැනට ලංකාවේ ඉතිරිව ඇති විශාලතම වන ප්‍රදේශය වේ. විල්පත්තු වනයෙන් කලා ඔයා සහ මල්වතු ඔය පෝෂණය කරයි. වනාන්තර ප්‍රදේශයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ වියළි මෝසම් වනාන්තර වලට ආවේණික ‘විල්’වලින් සමන්විත සාන්ද්‍රණය තෙත් බිමක් නිර්මාණය කිරීමයි. එනිසාම, සංක්‍රමණික පක්ෂීන් සඳහා ගමනාන්තයකි. එබැවින්, කාලයත් සමඟ වාසස්ථාන වෙනස් කිරීම ජෛව විවිධත්වයට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. මේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වනාන්තරය 2013 දී රැම්සාර් කලාපයක් ලෙස ප්‍රකාශ කරන ලදී.

මෙම පර්යේෂකයින්ගේ පුරෝකථනය අනුව, වෙනත්-එනම් වන හෝ වනජීවී නොවන- ඉඩම් පරිහරණයන්හි වෙනස්කම් ද කැපී පෙනේ. නිදසුනක් ලෙස වනය තුල හා තදාසන්න පෙදෙස් වල මාර්ග ඉදි කිරීම ගත හැක. පරිසර පද්ධතිය තුළ නව මාර්ග ඉදිකිරීම නිසා එම මාර්ග අවට වන විනාශය තවත් වැඩි වනු ඇත, එමගින් වන ආවරණය එළිකිරීමට ගොදුරු විය හැකිය.

PROTECT WILPATTU-විල්පත්තුව සුරකිමු සංවිධානය පවසන්නේ මේ වන පියස තුලින් කුල 118කට අයත් ශාක විශේෂ 600කත අධික ප්‍රමාණයක් හමු වන අතර එයින් 33ක් ශ්‍රී ලංකාවට අවේනිකය. කළු , බුරුත වැනි දැවමය ශාක වලින්ද, කෝවක්ක, හීන් තොලඹු , ගොඩමාන වැනි ඖෂධීය ශාක වලින්ද , මේ වනය ගහනය. මේ සමස්ත පරිසර පද්ධතිය ගංගාධාර වනාන්තර, වියලි තෘණ බිම් , ජලගැලුම් නිම්න, වගුරු බිම්, වැව් පද්ධති, විල්ලු, වෙරල පරිසර පද්ධති, කඩොලාන පරිසර පද්ධති හා ලවන වගුරු වැනි වෙනත් උප පද්ධතීන් ගණනාවකගෙන් සමන්විතය. කුල 17කට අයත් මත්ස්‍ය විශේෂ 30ක්, ආවේනික විශේෂ 3ක්ද ඇතුළුව කුල 5කට අයත් උභය ජීවීන් විශේෂ 17ක් , උරග විශේෂ 57ක්, පක්ෂි විශේෂ 149ක්(නිත්‍ය වාසී) , ක්ෂීරපායි විශේෂ 41ක් සහ සමනල විශේෂ 86ක් මේ කලාපයෙන් හමු වන බවය.

ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ “අපි කවුරුත් දන්නවා අපේ ඉතිහාසයේ සඳහන් අන්දමට විජය කුමරා ලංකාවට ගොඩ බැස්සේ මේ පලාතෙන් බව. ඉතින් මේ ප්‍රදේශය අතිශයින්ම ඓතිහාසිකයි. මේ ඓතිහාසිකත්වයට සරිලන ප්‍රමාණයේ පර්යේෂණ මේ පළාත සම්බන්ධයෙන් කෙරී ඇත්තේ අල්ප වශයෙන්. නමුත් ඉතිහාසඥයන්, පුරා විද්‍යාඥයන් දන්නවා මොන තරම් පුරා විද්‍යාත්මක සාධක මේ ප්‍රදේශය පුරාවටම විසිරි තිබෙනවාද කියල. දැනට මෙවැනි ස්ථාන 68ක් හඳුනාගෙන තියෙනවා. සැබෑ ගණන මීට බොහොම වැඩියි .මෙය අප ඉතිහාසයේ මෙතෙක් අප අත නොතැබූ පරිච්ඡේදයක්. ඇත්ත වශයෙන් කියතොත් මේ පලාතම පාරිසරික වගේම පුරා විද්‍යාත්මක රක්ෂිත භූමියක්. ඒ විතරක් නොවෙයි මේ අවට මුහුද යටිනුත් පුරාණ නගර වල නටබුන් හමු වෙලා තියෙනවා. 2002 වසරේදී, Dr.Diane Hawkey කියන පුරාවිද්‍යාඥයා මේ පළාත මුල් කරගෙන සැලකිය යුතු මට්ටමේ අධ්‍යනයක් සිදු කළා . ඔහු කියන්නේ මෙහි විසූ අතීත ජනයා මොහෙන්දජාරෝ – හරප්පා ශිෂ්ඨාචාර වල වීසුවන්ට බොහෝ සෙයින් සමානයි කියල. ඊට අමතරව ප්‍රාග් ඉතිහාසයට අයත් වන මහා ශිලා යුගයට නෑකම් කියන ආදී මානවයාගේ සාධක ගණනාවකුත් මේ අවට පලාතෙන් හමු වෙලා තියෙනවා. ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිත කල ගල් ආයුධ, ඔවුන් වාසය කල තැන් යනාදිය දැනට අනාවරණය කරගෙන තිබෙනවා. මේ සියලු කරුණු වලින් පැහැදිලි වෙනවා මෙය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස මොන තරම් වැදගත්ද සහ එය අප ඉදිරි අනාගතය සඳහා රැකිය යුතු බව”.

පුරා විද්‍යාත්මක හා පාරිසරික හානියට අමතරව මෙය (මෙම වන විනාශය) සංචාරක කර්මාන්තයටත් අහිතකර ලෙස බලපාන්න පුළුවන්. විල්පත්තු ජාතික වනෝද්‍යානය ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලාංකීය කොටි නැරඹීම සඳහා උචිතම ස්ථානයක් විදිහට. ඒ වගේම ලංකාවට එන පාරිසරික සංචාරකයන් වැඩි වශයෙන් ආශාවක් දක්වන සත්ත්ව විශේෂ පහම එනම් කොටියා , අලියා, නිල් තල්මසා, වලසා සහ sperm whale යන සත්ත්ව කොට්ඨාශ පහම එක විට දැකිය හැකි වන්නේ මේ කලාපයෙන් පමණයි. මෙය විශාල විභවයක් තිබෙන ආකර්ෂණයක්. ඉතින් තිස් වසරක යුද්ධයෙන් පස්සේ මේ ප්‍රදේශය පාරිසරික සංචාරක ප්‍රවර්ධනයට සූක්ෂම යොදා ගන්න තිබුනා. මේ විනාශ කරන්නේ එවැනි ආර්ථික ශක්‍යතාවයක් පවා තිබෙන භූමියක්” යැයි ඔවුන් වැඩි දුරටත් පවසනවා.

මුලාශ්‍ර:
1. Analysis of Forest Cover Loss in Wilpattu Forest Complex: A Remotely Sensed
Change Detection and Fragmentation Analysis (B.E.S. Bandara, R.P. De Silva and N.D.K. Dayawansa)
2. https://www.facebook.com/protectvilpattus/

Share this :